මාතා

මාතා කියන්නේ හුඟක් අහිංසක ගෑනු ළමයෙක්. හැබැයි මේ අහිංසකයි කියන වචනෙට ගෑනු ළමයෙක් උපතින්ම අරන් එන ධෛර්යයයි, එයා ළඟ තියෙන නිර්භීතබවයි යටවෙන්නේ නෑ. මොනතරම් ප්‍රශ්න ආවත්, ජීවිතය ඉදිරියට මොනතරම් අභියෝග ආවත් එයාට පුළුවන් මං අර කලින්ම කිව්ව වගේ අහිංසකකම බේරාගෙන ධෛර්යයෙනුත්, ආත්මාභිමානයෙනුත් මුහුණදෙන්න . . . මාතා ත් කළේ ඒක . . .

මං මාතා ව කරළියට ගෙනආවෙත් එහෙව් චරිතයක් ගැන විවරණයක යෙදෙන්න මගේ හිත යට මතුවෙමින් තිබුණු නොතිත් ආශාව මුදුන්පත් කරගැනීම උදෙසාමයි . . . පුංචි ගෑනු ළමයෙක් ඊළඟට යුවතියක්, ඊළඟට ගැහැනියක්, අවසානයේ මවක් . . . මේ ලෝකයේ කොහේ ඉපදුනත් ගෑනු දරුවකුගේ ජිවිතේ බෙදෙන්නේ ඔන්න ඔය කොටස් හතරට විතරමයි . . . මාතා කළේ ඒ භූමිකා හරි අපූරුවට රඟදක්වපු එකයි . . .

ගැහැනියකගේ මේ චරිත කිහිපය අමුණන්න සහ ඒ වියමන සාර්ථක කරගැනීමයි මට අභියෝගයක් වුණේ.

ඒ මොකද, එතෙක් මං ලියපු හැම පොතකටමත් යම්කිසි නිර්මාණයක් පෙළගස්වනකොට මට ඕන වුණා ඒ වෙනුවෙන් සාර්ථක වියමනක් . . . මාතා විශේෂයෙහි මං ඒ අභියෝගය ජයගත්තා කියන බොහොම අහිංසක ආඩම්බරයක් නම් මගේ යටිහිතේ තියෙනවා . . .

ඇත්තටම ඒකට ලොකුවට මං මහන්සි වුණා කිව්වොත් වැරදියි . . . කරුණාව, දයාව, ළෙංගතුකම සහ ඉවසීම කියන සංවේදනයන්ගෙන් පිරුණු හදවතක් මට තියෙනවා කියලා මට දැනුනෙත් මාතා ලියනකොටයි. මං ඒවායි මාතාගේ ජීවිතය වටා එල්ලවනු ලැබුවේ. අතුරනු ලැබුවේ.

ගැහැනු දරුවෙක් උපතින්ම ගෙනෙන ඒ සංවේදනයන් ඒ ඒ අයුරින් එයා ජීවිතය තුළ හොබවන චරිත කිහිපය එක්ක මුසුකිරීමයි මාතා ලියනකොට මටත් මගේ පෑනටත් තිබුණු එකම වගකීම . . . ඇත්තටම මාතා තමයි මටත් ජීවිතය කියාදුන්නේ . . . ඒ නිසයි මං කිව්වේ . . . මාතා ලියන්න, මාතා වෙනුවෙන් අමුද්‍රව්‍ය සොයන්න මට ඒ හැටි මහන්සිවෙන්න වුණේ නෑ කියලා . . .

තුෂාරි අබේසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *