“අපිට ජීවිත දෙකක් තියනවා, දෙවනි ජීවිතේ පටන් ගන්නෙ අපිට තියෙන්නේ එක ජීවිතයයි කියල අපි තේරුම් ගත්ත මොහොතෙයි”, එහෙම කියන්නෙ චීන දාර්ශනික කන්ෆියුසියස්. කෙටි වචන කීපයකින් වුණත් ඔහු කියන්නේ නොයෙක් අතට හිත යොමු කරලා කල්පනා කරලා බලන්න පුළුවන් මහ ගැඹුරු කතාවක්. එක අතකින්, ජීවිතේ ඇතුළේ අපිට වෙනස් කරගත නොහැකි දෙයක් නෑ, අපිට ජයගත නොහැකි අභියෝගයක් නෑ කියන අදහස මේ කියමන ඇතුළේ ගැබ් වෙනවා. තවත් පැත්තකින්, අපිට ලැබිල තියෙන මේ එක ජීවිතේ කොයිතරම් වටිනවද, අපි කොයිතරම් එය අගය කළ යුතුද කියලා එයින් කියවෙනවා. ඇත්තටම අපිට ලැබිලා තියෙන මේ ජීවිතේ කොයිතරම් ඉක්මනට නැතිවෙලා යන සුළුයි ද කියලා තේරුම් ගිය මොහොතක තමයි මේ ජීවිතේ කොයිතරම් වටිනා එකක් ද කියලා අපිට තේරුම් යන්නෙ. මිනිස් ස්වභාවය ගොඩක් වෙලාවට එහෙමයිනේ. යම් දෙයක් අසීමිතව අපි ගාව තියෙද්දී අපිට එහි අගයක් දැනෙන්නෙ නෑ. පොඩ්ඩක් හිතල බලන්න ඔබට ඊළඟ මොහොතේ හුස්ම ගන්න බැරිවෙන තත්ත්වයක් ඇති වුණොත් මොකක් වේවි ද? අපි ඒතරම් හිතා නොබැලුවත් අපි ගන්න එක හුස්ම පොදක් අපේ පැවැත්ම වෙනුවෙන් කොයිතරම් වැදගත් වෙනවද? ජීවිතේ අන්න ඒවගේ දෙයක් තමා.
ජීවිතේ අහිමි වෙන්න ඔන්න මෙන්න කියන තැනකට ඇවිත් ආපහු හැරිලා එන්න වාසනාව ලැබුව කෙනෙක් තරම් ජීවිතේක අගය වෙන කිසි කෙනෙක් නොදන්නවා ඇති. Matt Haig නම් බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයා අන්න ඒ විදිහට සාංකාව, විෂාදය වගේ මානසික ව්‍යාකූලත්වයන් එක්ක ජීවිතය නැති කරගැනීමේ ආසන්නයටම ඇවිත් යළිත් ගොඩ ආ කෙනෙක්. තමන් රචනා කරන කෘතිවලට ඔහු පාදක කරගන්නෙ ඔහු ලැබූ මේ අත්දැකීම්. ඔහු තම පෑන මෙහෙයවන්නේ ජීවිතයක අගය මිනිසුන්ට කියා දීමේ අරමුණෙන්. 2020 අවුරුද්දෙ දී The Midnight Library නම් ෆැන්ටසි ශානරයට අයත් වෙන කෘතිය ඔහු අතින් රචනා වෙන්නේ ඒ අනුව. “මැදියම් රෑ පුස්තකාලේ” නමින් සිංහලයට පරිවර්තනය වෙන්නේ මේ The Midnight Library නවකතාව.
The Midnight Library නවකතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ නෝරා සීඩ් නම් තිස්පස් වියැති තරුණිය. ඇය දිවි ගෙවන්නේ එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරයේ නවාතැනක හුදෙකලාව. ජීවිතය කියන්නෙ කොහොම අත්දැකීමක්ද කියල ඔබ ඇගෙන් ඇහුවොත් ඇය කියාවි එය අතිශය නීරස අත්දැකීමක් බව. නෝරා හිටියේ හැම දෙයක් ගැනම කලකිරිලා. ජීවිතේ ඇය හැරී ගිය කොයි මංසන්ධියකිනුත් අවසානෙ ඇයට හමුවුණේ අසාර්ථකත්වයත්, බලාපොරොත්තු බිඳ ගැනීමත් සහ පසුතැවීමත් පමණයි. තමන්ගේ මරණය ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන දෙයක් ඇයට කල්පනා වුණේ නෑ. ඉතින් අවසානෙ ඇය තීරණය කරනවා ඇයට හැමදෙයක්ම එපා කරපු ඒ ජීවිතයෙන් සමුගෙන යන්න. ඇය කවදාකවත් අසා නොතිබුණු අරුම පුදුම යමක් සිද්දවෙන්නේ ඉන් පස්සෙයි. මරණය සොයා ගිය ඇය හීනයකින් වගේ ඇතුළුවෙන්නේ පුස්තකාලයකට, මේ පුස්තකාලය පිරිලා තියෙන්නෙ මෙතෙක් ඇය කළ කී දේවල් ඇය වෙනස් විදිහට කළා නම් කොහොම වේවිද කියන කරුණ අනුව, ඇගේ ජීවිතේම වෙනස් ආකාරයෙන් ලියවුණු පොත් වලින්. මේ පොතක් අරගෙන පෙරළුවාම හරියට සමාන්තර විශ්වයකට යන්නා වගේ ඇය තමන්ගේම වෙනස් ජීවිතේකට ගමන් කරනවා. මේ විදිහට වෙනස් වෙනස් ජීවිත අත්හදා බලලා තමන් කැමති ආකාරයේ ජීවිතයක් තෝරාගෙන එහි හැමදාම නතර වෙන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඉතින් තමන් ගැනම කලකිරී ඉන්න නෝරා කොයි විදිහේ ජීවිතයක් තෝරා ගනීවිද? ඇය අවසානයේ කොහෙන් නතරවේවිද?
පිටපත් මිලියන ගණනාවක අලෙවි වී ඇති The Midnight Library නවකතාව ලොව පුරා පාඨකයින් ආදරයෙන් වැලඳගත්තා. පිටුවෙන් පිටුව ඉතාම කුතුහලයකින් කියවාගෙන යා හැකි ආකාරයටයි පොත රචනා වී තිබෙන්නේ. ඒ වගේම කෙටි පරිච්ඡේදවලින් පොත සමන්විත වෙන නිසා පොත කියවන්න තවත් පහසුයි. මේ නවකතාව කියවන කෙනෙකුට තමන්ගේ ජීවිතය දිහා ආපහු හැරි බලලා, තමන් ජීවිතයේ පසුතැවෙන, වදවෙන කාරණා ඇත්තටම එහෙම පසුතැවිය යුතු දේවල්ද කියල ආපහු හිතන්න පොලඹවනවා. දුක් වේදනාවන්, පසුතැවීම් මේ සියල්ලම ජීවිත් වීමේම අනිවාර්ය කොටසක් බවත්, මේවා නොනැවතී අප හමුවට එද්දී පරාජයට පත් නොවී ආත්ම විශ්වාසයකින් යුතුව ජීවිතයට මුහුණ දිය හැකි නම් ඕනෑම දෙයක් ජයගත හැකි බවත් හිතන්න පාඨකයාව යොමුකරනවා. ඒ නිසා වරක් කියවූ කෙනෙකුට ජීවිතේ අමතක නොවන පාඩමක් කියා දෙන අපූරුම නවකතාවක් විදිහට The Midnight Library නැත්නම් “මැදියම් රෑ පුස්තකාලේ” නම් කළ හැකියි.