මකරන්ද දඩයම

කුඩාකල සිටම මා අවට සිදුවන විවිධාකාර සිදුවීම් සහ හමුවන විවිධ චරිත තුළ යම්යම් විශේෂිත වූ ලක්ෂණ හෝ ගුණාංග කෙරෙහි වෙනස් ආකාරයකින් බැලීම මගේ පුරුද්දකි. බොහෝ විට ඒ සිදුවීම් සහ පුද්ගල චරිත එකතුකර මා මනසේ නොයෙක් සංසිද්ධීන් කතානුසාරයෙන් මැවේ. මම තවතවත් කැටයම් යොදා ඒවා සිතින් ඔපමට්ටම් කරමි. ජීවිතයේ මෙතෙක් ආ දුර නිරන්තර ගැවසෙන ජනීජනයා අතර හුදකලාවන මොහොතක මට තනිරකින්නේ එවන් කතන්දර ය. ඒ පුරුද්දට, ඒ මුණගැසීම්වලට මම බෙහෙවින් ම ආදරය කරමි. එහිදී මට සතුටින් පිනා ගිය ‘මා’ මුණගැසෙයි. එවිට ඒ ‘මට’ මම ආදරය කරමි. ඒ සුවහසක් හැඟීම් වචන බවට පෙරළා ඉසිඹු ලද මොහොතක පත්ඉරුවක ලියා තබමි. එය වරෙක සඳැසකි. වරෙක නිසඳැසකි. විටෙක කෙටිකතාවකි. තවත් වරෙක දිගුකතාවකි.

‘මකරන්ද දඩයම’ ද එවැනි ආදරණීය අදහස් ඇසුරෙන් මා තුළ දළුළා වැඩුණු වස්තුබීජයක ආදරණීය ප්‍රතිඵලයකි. එය මගේ සිත තුළ ඇඳුණු වර්ණවත් සිතුවමකැයි මට කිව හැකි ය. ඒ වර්ණවත් සිතුවමට හේතුපාදක වූ සිදුවීම් කිහිපයකි. ඒ සියල්ල එකට කැටිකොට වෙහෙසකාරී දීර්ඝ ගුවන්ගමනක යෙදෙන එක් අතරවාරයක, දෑස පියාගෙන මේ කතාව බොහෝ දුරක් ගෙනආවෙමි.

ප්‍රේමය විෂයකොට ලියැවී ඇති කතා අතිමහත් ය. එසේ වනුයේ ප්‍රේමය තරම් ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ වෙනත් හැඟීමක් නැති නිසා වියහැකි ය. එහෙත් ප්‍රේමයේ නාමයෙන් සිය අදමිටු අරමුණු ඉටුකරගැනීමට උත්සුකවන පාපතර ජීවීන් නිසා ඒ උත්තරීතර හැඟීම කෙළෙසී ඇති අයුරු ශෝකජනක ය. පරමාදර්ශී ජීවිත ලෙස ලෝකය අභිමුවෙහි පෙනීසිටිමින් ස්වකීය ධනය හා බලය මතින් අවංක ආදරය යටපත් කරන්නට, ප්‍රේමයේ උත්තරීතබව කෙළෙසන්නට තැත්කරන ‘සුදු’ හැඳගත් ‘කළු’ චරිත අප කොතෙකුත් දැක නැත්ද?

මකරන්ද දඩයමට මා පාදක කරගත් එවැනි සිදුවීම් සියල්ල ඔබ මනසේ එක් එක් අයුරින් සිතුවම්වනු ඇත. ඒ ප්‍රයත්නයට සුවිශාල සහයෝගයක් ලබාදුන් ඇම්.ඩී. ගුණසේන සමාගමට මගේ අවංක ගෞරවාදර ස්තුතිය පිරිනමමි. දැනටමත් පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතියි. පොතේ කවරය ද බොහෝ දෙනාගේ අවධානය දිනා ඇත.

මේ පොත කියවීමෙන් ඔබ තුළ මැවුණු අදහස් මවෙත යොමුකරන්නේ නම් බෙහෙවින් අගය කරමි. එවිට මා සිත තුළ මේ මොහොතේ ද මැවෙන, මියයන, නැවත නැවතත් උපදින කතන්දර ඔබ අතට පත්කිරීමට හැකිවෙන බැවිනි.

කංචනා කුමාරි දොඩංගොඩ

2 thoughts on “මකරන්ද දඩයම

  1. MAKARANDA DADAYAMA by kanchana Dodangoda is simply compiled around solid Characters found in our immediate society but the plot discussed here take a different out look as it conveys the tragic plight of two women who supress their inner most lamentations but eventually become strong due to circumstances..Apart from this it is a definite truth that sinful deeds committed by any human being irrespective of their social status power and dominance..are indeed punished brutally on the so called DAY OF JUDGEMENT.

  2. ආදරය වෙනස්ම අයුරකින් සැමවිටම දකින ඔබගේ මේ උත්සහයත් ඇති සාර්ථකයි සොයුරිය….
    තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණයන්ට ඔබේ සිත නැබුරු වේවා…
    ඔබ දෑතට සම්මා සම්බුදු සරණයි!!!

Leave a Reply to කල්පනා Cancel reply

Your email address will not be published. Required fields are marked *