සාහිත්‍ය ලෝකය තුළින් මැවුණු ජීවමාන රහස් පරීක්ෂක චරිතය – ෂර්ලොක් හොම්ස්

සැබෑ සහ සාහිත්‍ය ලෝකය යන දෙකම එක සේ ජයගත් පුද්ගල චරිත අතර ෂර්ලොක් හොම්ස්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේ සටහන කියවන ඔබ කිසිදා ෂර්ලොක් හොම්ස් කතා කියවා නැති අයෙක් විය හැකි නමුත්, මේ නම අසා නොතිබෙන අයෙක් විය නොහැකි ය. ෂර්ලොක් හොම්ස් යනු බි්‍රතාන්‍ය ජාතික ගත්කතුවරයකු සහ දන්ත වෛද්‍යවරයකු ද, එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ද වූ සර් ආතර් කොනන් ඩොයිල් විසින් සාහිත්‍ය ලෝකය තුළ නිර්මාණය කළ රහස් පරීක්ෂක චරිතයකි. සියුම් නිරීක්ෂණය, නිවැරදි නිගමන, අපරාධ විද්‍යාව පිළිබඳ වූ ප්‍රාමාණික දැනුම, සහේතුක තර්කනය ඔහුගේ ගැටලු විසඳීමේ ක්‍රියාවලිය තුළ දක්නට ලැබුණු ගුණාංගයන් ය.

සර් ආතර් කොනන් ඩොයිල්

ෂර්ලොක් චරිතය මුලින්ම සහෘදයා හමුවට පැමිණෙන්නේ සර් ආතර් කොනන් ඩොයිල් විසින් 1887 වසරේ දී නිර්මාණය කළ A Study in Scarlet නවකතාව තුළිනි. කෙසේ නමුත් මේ චරිතය සහෘදයා අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේ 1891 වසරේ දී The Strand  සඟරාව ඔස්සේ පළවන්නට පටන් ගත් ෂර්ලොක් හොම්ස් කෙටිකතා මාලාව තුළිනි. එහි මුල්වැන්න වූයේ A Scandal in Bohemia ය. එතැන් පටන් 1927 දක්වාම ෂර්ලොක් හොම්ස් චරිතය ඇතුළත් කතා නිර්මාණය වූ අතර අවසානයේ මේ චරිතය ඇතුළත් නවකතා 4 ක් සහ කෙටිකතා 56 ක් නිර්මාණය වී තිබුණි. මේ සියලු කතා සහෘදයා හමුවේ තබන්නේ ෂර්ලොක් හොම්ස් නොව ඔහුගේ සමීපතම මිත්‍රයා මෙන්ම රහස් පරීක්ෂක කටයුතු සඳහා දකුණු අත සේ සමීපව සිටින වෛද්‍ය ජෝන් එච්. වොට්සන් ය. බොහෝ කතාවල සඳහන් වන අන්දමට ඔවුන් දෙදෙනාගේම නවාතැන වූයේ ලන්ඩනයේ, 221 බී දරන ස්ථානයේ පිහිටි නිවහනකි. 

The Strand සඟරාවට ෂර්ලොක් හොම්ස් කෙතරම් වැදගත් වූයේ ද යන්න මේ කවරවලින්ම පැහැදිලි වේ.

සාහිත්‍ය ලෝකය තුළ නිර්මාණය වූ ප්‍රථම රහස් පරීක්ෂක චරිතය හොම්ස් නොවූව ද හොඳම චරිතය එය බවට විවාදයක් නැත. මේ වනවිට මේ චරිතය ඇතුළත් කොට නිර්මාණය කරන ලද චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, ගුවන්විදුලි නාට්‍ය, චිත්‍රකතා ආදිය විසිපන්දහසකටත් අධික ය. සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ ඇසුරු කරගත් සාහිත්‍යමය චරිත අතර ඉහළම සංඛ්‍යාවකට හිමිකම්පාන්නේ ෂර්ලොක් හොම්ස් බවට ගිනස් ලෝක වාර්තාවක් ද තිබේ. මේ චරිතය කෙතරම් ප්‍රකට වූයේ ද යත් ෂර්ලොක් හොම්ස් යනු හුදෙක් සාහිත්‍ය නිර්මාණයක් නොව සැබෑ පුද්ගලයකු යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නට පටන් ගත්හ.

මෑතක දී නිර්මාණය වූ ෂර්ලොක් හොම්ස් චිත්‍රපටයකින් කොටසක්

ෂර්ලොක් හොම්ස් ඇතුළුව බොහෝ සාහිත්‍යමය රහස් පරීක්ෂක චරිත නිර්මාණය වීම සඳහා බලපෑම් කරන්නට ඇත්තේ එඩ්ගා ඇලන් පෝ ගේ සී. ඔගස්ටේ ඩුපින් නම් චරිතය බව පැවසේ. ෂර්ලොක් හොම්ස් චරිතයට ද එවැනි ආභාසයක් ලැබුණු බව කොනන් ඩොයිල් විවිධ ස්ථානවල දී දක්වා ඇති අදහස් මගින් තහවුරු වේ. එමෙන්ම කොනන් ඩොයිල් විසින් ෂර්ලොක් හොම්ස් චරිතය පාඨකයා හමුවට රැගෙන එද්දී එමිල් ගැබරියෝ නම් ප්‍රංශ ලේඛකයා විසින් නිර්මාණය කරන ලද යැක් ලිකොක් නම් රහස් පරීක්ෂක චරිතය ද අතිශය ජනාදරයට පත්ව තිබිණි. හොම්ස්ගේ කතාව සහ හැසිරීම බොහෝ දුරට යැක් ට සමාන බැව් විචාරකයෝ පවසති. හොම්ස් ට වොට්සන් හමුවන A Study in Scarlet කතාව තුළ දී ලිකොක් සහ ඩුපින් පිළිබඳ කිහිප විටක්ම ඩොයිල් සඳහන් කරයි.

කෙසේ නමුත් ඩොයිල් නිතරම සඳහන් කළ දෙයක් වූයේ ෂර්ලොක් චරිතය නිර්මාණය කිරීම සඳහා තමාට බලපෑම් කළ සැබෑ චරිතය වූයේ එඩින්බර්ග් රාජකීය රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වූ ජෝශෆ් බෙල් බවයි. 1877 වසරේ දී ඩොයිල් ට ඔහු හමු වී ඇති අතර ඔහුගේ ලිපිකරුවකු ලෙස ද කාලයක් සේවය කොට තිබිණි. සියුම් නිරීක්ෂණ තුළින් විචක්ෂණශීලී නිගමනවලට එළැඹෙන්නට බෙල් සතුවූ හැකියාව ඩොයිල් තුළ මහත් බලපෑමක් ඇති කළේ ය. එමෙන්ම එඩින්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නීති අංශයේ ප්‍රධානී සර් හෙන්රි ලිට්ල්ජෝන් ද මේ චරිතය ගොඩනැගීම සඳහා බලපෑමක් ඇති කළ බව ඩොයිල් සඳහන් කොට තිබේ.

Final Problem හි අවසන් සටන

ෂර්ලොක් හොම්ස් මුල්ම කතා මාලාව 1887 – 1893 අතර සමයේ ප්‍රකාශයට පත් වූ අතර එහි අවසන් කතාව වූ The Final Problem හි දී දරුණු අපරාධකරුවකු වූ මහාචාර්ය ජෙම්ස් මොරියාටි සමග ඇති වූ ද්වන්ධ සටනේ දී හොම්ස් මිය යයි. තම නිර්මාණාත්මක හැකියාව එකම ආකාරයේ කතා ශෛලියක් වෙනුවෙන් වෙන් කිරීමේ ඵලයක් නැතැයි සිතූ කොනන් ඩොයිල් මේ කතා මාලාව එතැනින් නතර කරන්නට තීරණය කළේ ය. නමුත් එහි දී සහෘද ජනතාවගෙන් ලැබුණේ ඔහු කිසිදා බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයකි. ෂර්ලොක් හොම්ස් කතා මාළාව නතරකර දැමීම පිළිබඳ උරණ වූ සහෘද ජනතාව සිය කෝපය පළ කරමින් The Strand සඟරාවට ලිපි එවන්නට පටන් ගත්හ.  එයට විරෝධය පාමින් විසි දහසක් පමණ සහෘද ජනතාවක් මේ සඟරාවට තිබූ දායකත්වය අවලංගු කොට දැමූහ. ඩොයිල් ට පුද්ගලිකවම විරෝධාත්මක ලිපි ලැබෙන්නට විය. එක් කාන්තාවක එවන ලද ලිපියක් ආරම්භ කොට තිබුණේ, “ඔහේ මහ දුෂ්ටයෙක්’ ලෙසිනි. සාහිත්‍යමය වශයෙන් නිර්මාණය වූ චරිතයක් සම්බන්ධයෙන් මේ සා සහෘද ප්‍රතිචාරයක් ලැබූ අවස්ථාවක් මෙයට පෙර හෝ පසු ව හමු නොවේ. ෂර්ලොක් හොම්ස් කතා මාලාවේ ඉතිරි කොටස් ලියන්නට ඩොයිල්ට සිදුවූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය.

ෂර්ලොක් චරිතය ලෝකයට සාහිත්‍ය ලෝකයෙට හඳුන්වා දී සියවසකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් එයින් ඇති කළ රසය නොඅඩුව විඳගැනීමේ හැකියාව අදටත් එසේම ය. රහස් පරීක්ෂක කතා කොතෙකුත් නිර්මාණය වුව ද හොම්ස්ට අභියෝග කරන්නට ඒ කිසිවක් සමත් වූයේ නැත. මිනිසුන් නැවත නැවතත් ෂර්ලොක් හොම්ස් කතා කියවන්නේ මේ නිසාය. කාර්යබහුල සහෘද රසිකයන් වෙනුවෙන් ලෝකයේ බොහෝ පොත් ප්‍රකාශක ආයතන මෙහි සංක්ෂිප්ත සංස්කරණ පවා ප්‍රකාශයට පත්කරන්නට පෙලැඹී ඇත්තේ මෙයට ඇති සහෘද ඉල්ලුම නිසාමය. ත්‍රාසය, කුතුහලය සපිරි මේ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 සංක්ෂිප්ත පරිවර්තන ලෙස ඇම්.ඩී.ගුණසේන සමාගම ඔබ අතට පත් කරන්නට අදහස් කළේ ඒ නිසාය.  කතා රසයෙහි කිසිදු අඩුවක් ඇතිනොවන පරිදි ඉතා කුඩා පොත් ලෙස මේවා පාඨකයා අතට පත්කරන්නට කටයුතු යොදා ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

One thought on “සාහිත්‍ය ලෝකය තුළින් මැවුණු ජීවමාන රහස් පරීක්ෂක චරිතය – ෂර්ලොක් හොම්ස්

  1. ෂර්ලොක් හොම්ස් චරිතය ගැන මා මෙතෙක් දුටු සවිස්තරාත්මකම විස්තරය මේකයි. මෙවැනි දැනුවත්කිරීමක් සම්බන්ධයෙන් ඔබට ස්තුතියි.

Leave a Reply to Suranga Malawiarachchi Cancel reply

Your email address will not be published. Required fields are marked *