දුවකගේ කඳුළු

මං පුංචි කාලේ අම්මා මට කියා දීපු එක් ලස්සන කතාවක් තිබුණා.


“අහසයි පොළොවයි ළං කරන්න බැරි තරම් ඈත් වුණත් දූ ඒ දෙන්නා තමයි හොඳම යාළුවෝ දෙන්නා. අහස හැම තිස්සෙම පොළොව දිහාමයි බලාගෙන ඉන්නේ. පොළොව හැම තිස්සෙම අහස දිහාමයි බලාගෙන ඉන්නේ. අහස කියන දේලු පොළොව අහගෙන ඉන්නේ. පොළොව කරන දේලු අහස බලාගෙන ඉන්නේ.”


ඔය කතාව අහගෙන හිටපු මට හැම තිස්සෙම හිතුණේ මගේ අම්මායි තාත්තායි හරියට අහසයි පොළොවයි වගේ කියලා.
අහස ලස්සනට දේදුන්න අඳින හැඩ, හිටපු ගමන් රත් පැහැ ගැන්වෙන හැටි, ආයෙමත් දුකෙන් බරවෙන හැටි පොළොවේ ඉඳන් මං බලාගෙන හිටියා.


පොළොව වැස්සක් නැතුව දුකෙන් තැවෙන හැටි, අනේක විධ දුක් දොම්නස් උහුලන හැටි මං පොළොව එක්කම දැවටෙමින් ඉගෙන ගත්තා.
අහස පොළොවට මේ තරම් ආදරේ කළා නම් පොළොවත් අහසට මේ තරම් ආදරේ කළා නම් අහසයි පොළොවයි මේ තරම් දුරස් වුණේ කොහොමද කියලා එදා වගේම අදටත් මගේ හිතේ ඇති කරන්නේ ප්‍රශ්නාර්ථයක්.


දෙමාපියන් දෙපසකට වීමේ දුක් උහුලන පුංචි හිත් ගැන යමක් ලියන්න යැයි එවකට ලක්බිම පුවත්පතේ විශේෂාංග ලේඛක සමන් ප්‍රියංකර මහතා ඉල්ලා සිටියදී ඒ ගැන නම් යමක් මට ලිවිය හැකි යැයි මට හිතුණේ ඒ වේදනාව කාටවත් නොකියා නොහඟවා මා වින්ද නිසා. ආත්ම ප්‍රකාශනයක් ලෙසින් ඒ ලිපි පෙළ මා ලිවීමට හිත හදාගත්තේ ඉන් පසුවයි.


මේ ලිපි පෙළ ලිවීමේදී මට තිබුණ ලොකුම අභියෝගය වූයේ මුළු රටම දන්නා හඳුනන සැබෑ චරිත දෙකක් (ප්‍රේමකීර්ති ද අල්විස් හා දයා ද අල්විස්) සමග කතාව හසුරුවා ගැනීමට සිදුවීමයි.


මගේ ජීවිතය, දෛවය, ඉරණම කතාව ගළපා දී තිබුණු නිසා ලිපි පෙළ ලියද්දී අමුතු වෙහෙසක් දැරීමට මට සිදුවූයේ නෑ. කාටවත් නොරිදවා මගේ හදවතම රිදවාගෙන ලියූ ‘දුවකගේ කඳුළු’ ලිපි පෙළ ලක්බිම පුවත්පතේ පළවෙද්දී ලැබුණ ප්‍රතිචාරමයි එය පොතක් ලෙස එළිදක්වන ගමන දක්වා දිගු කළේ.


දුවකගේ කඳුළු කියවා රසවිඳින්න යැයි මට ඔබට ආරාධනා කළ නොහැක. මන්ද, එය කඳුළු කතාවක් නිසා.


“දෙදෙනාටම ඒ දෙදෙනාගේ අයිතිය අහිමි වීම මට දුකක් වූ බව දැන සිටියේ මා පමණක් ද? මගේ ජීවිතය මේ අයිතිය නිසා බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න පත්‍රයක් වුණු බවට පෙළින් පෙළට කියන්නට පුළුවන් කමක් නැතත් පුංචි පුංචි කඳුළු බිංඳු ඉහුණු තැන් පෙන්වන්නට උත්සාහ ගන්නම්.”


(දුවකගේ කඳුළු – පිටුව 6)


සියල්ල සිදුවී හමාරය. මා දැන සිටියේ අහිමි දේ දුක දෙන බව පමණයි. ඒත් මට දැන් වැටහෙනවා හිමි දේත් දුක දෙන බව.

සුරංගි ද අල්විස්

Leave a Reply

Your email address will not be published.