නස්රුදින් ගැන

නස්රුදින්ගේ කතාවල හරිම පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනකුට තවත් කතාවක් අහන්න හිතෙනවා. ඒ වගේ තව කතාවක් අහන කෙනකු එක්වරම හිනා වෙනවා. තවත් කෙනකු කල්පනාවට වැටෙනවා. තවත් කෙනෙක් එහෙම කල්පනාවට වැටිලා ඊළඟට හිනා වෙනවා. ඒ වගේ ම මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා ම පිළිගැනීමක් තියෙනවා. මේ කතා මුල් වරට මා සිංහල පාඨකයන් වෙත ගෙනාවේ වසර 50කට පෙර ‘නවයුගය‘ සඟරාවෙන්. ඒවා අදත් එදා මෙන් ම එක සේ ජනප්‍රියයි.

මේ කතා ඉංග්‍රීසියෙන් ලෝකයට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේත් ඇමරිකාවේත් විශ්ව විද්‍යාල ගණනාවක දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කළ අයිඩ්‍රියස් ෂා කියන්නේ මේ කතා අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිත කළ හැකි බවයි. ලොව වෙනත් කිසිම උපමා කතාවක නැති විශේෂ ගුප්ත බලයක් නස්රුදින් කතාවල තියෙනවා. ඒ නිසා තමයි, නස්රුදින් කතා රටක්, ජාතියක්, ආගමක්, භාෂාවක්, නො සලකා ලොව දස දිග සෑම රටක ම එක වගේ ම ප්‍රචලිතව පවතින්නේ.

අරාබිකරයේ නස්රුදින් හෝජා, ජූහා, දෝහා, ගෝහා ආදි හැඳින්වෙන නස්රුදින්, චීනයේ නස්රුදින් අවාන්ති කියාත්, තුර්කියේ නස්රුදින් මුල්ලා කියාත්, මධ්‍යම ආසියාවේ නස්රුදින් එෆෙන්ඩි කියාත්, රුසියාවේ නස්රුදින් මුල්ලා කියාත්, හැඳින්වෙනවා. නස්රුදින් කොයි වගේ කෙනකු ද, ඔහුගේ කතා මොන වගේ ද, කියා වචනවලින් කියන්න අපහසුයි. හඳුනා ගන්න තියෙන හොඳම විදිය ඒ කතා කියවන එකයි.

පර්සි ජයමාන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *